Saturday, November 18, 2017

සිය වර්ගයා වෙනුවෙන් දිවි දුන් පනාමුරේ ඇත් රාජා

සිය වර්ගයා වෙනුවෙන් දිවි  දුන් පනාමුරේ ඇත් රාජා 

තම සගයන්  වෙනුවෙන්  ජීවිතයෙන් වන්දි  ගෙවූ  හස්ති  රාජයෙක් පිලිබදව අපට  ආරංචි වන්නේ අබිලිපිටිය පනාමුර ප්‍රදේශයෙනි .. ඒ 1950 වර්ෂයේ ..




යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවේ අලි ඇතුන් විකිණීමේ ව්‍යාපාරය ඇත් ගාල් හිමියන්ව මුදල් වලින් සම්පුර්ණ කළහ ...මඩුවන්වෙල පරපුරේ නින්දගමක් ලෙස පැවති
කොළොන්න කෝරලයේ පිහිටා ඇති පනාමුරේ ග්‍රාමය මේ ඓතිහාසික සංසිද්ධිය සිදු වූ ස්ථානයයි. කඳු, බෑවුම්, මිටියාවත්, ඇළ දොළින් සපිරි මේ ප්‍රදේශය එකල අතිශයින් රමණීය වනාන්තරයක් විය. වන සතුන්ගේ නින්දගමක් වූ පනාමුරය හා ඒ අවට ප්‍රදේශ එකල වඩාත් ප්‍රකටව තිබුණේ අලි ඇතුන් බහුල ප්‍රදේශයක් ලෙසිනි. 1912 දී සිදුකළ අලි ගණනයට අනුව එහි අලි ඇතුන් 2300 ක් පමණ වාසය කළ බව සඳහන්ව තිබුණි.


                                                        

 මඩුවන්වෙල පරපුර මේ සියල්ලම තමන්ට අයත් බූදලයක් ලෙසින් සැලකූහ.
සිය නින්දගමෙහි ජීවත් වූ අලි සම්පත අල්ලා විකිණීමෙන් ඔවුන් වරින් වර විශාල ආදායමක් ලැබූ බව ඉතිහාස කතාවන්හි සඳහන් වේ. ඔවුහු අවුරුදු පහකට වරක්වත් අලිගාල් පැවැත්වීම හෙවත් අලි ඇල්ලීම සිදු කළහ. 1912 දී මඩුවන්වෙල රටේ මහත්තයා එවැනි ඇත් ගාලක් පැවැත්වූ බව සඳහන් වේ. රජයේ අවසරයක් නොමැතිව වුවද ඇත් ගාලක් බැඳ අලි ඇල්ලීමේ බලය තිබූ එකම පුද්ගලයා වූයේ මඩුවන්වෙල රටේ මහත්තයාටය. අක්කර 64 ක භූමි ප්‍රදේශයක් පුරා එම ඇත්ගාල පවත්වා ගෙන ගිය බව සඳහන්ය.




පනාමුර ඇත් රාජ පිලිබද වීඩියෝව 

                                             

පනහේ දශකය වන විට මඩුවන්වෙල පරපුරේ ජීවමාන උරුමකරවා වූයේ ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාය. ඔහු ඒ වන විට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම කතානායක ධුරයද දරමින් සිටියේය. අලි අල්ලමින් විශාල ආදායමක් උපයාගත් පරපුරක අයෙකු වශයෙන් ෆ‍්‍රැන්සිස් මොලමුරේද ඇත්ගාලක් පවත්වා ගෙන යාමට උත්සාහ දැරීය.


ඔහු සතුව අලි ඇල්ලීමේ මන්තර තිබූ බවටත් එකල බොහෝ දෙනකු අතර ප්‍රචලිතව තිබුණි. වනාන්තරය මැද ස්වභාවිකව පිහිටා තිබූ දිය බුබුලක් ආශි‍්‍රතව ඔහු මෙම ඇත්ගාල ඉදිකරවන ලදී. මේ දිය බුබුලෙහි දිය කිසිදා නොසිඳෙන බවට විශ්වාසයක් එදා මෙන්ම අදද ජනතාව අතර පවතී.

අලිගාල ඉඳිකොට තිබුණේ අක්කර හතරක පමණ භූමි ප්‍රදේශයක් වටකොටය. සුවිශාල බුරුත කඳන්වලින් අලි ගාල වටකොට තිබුණි. සද්දන්තයන් දියට බසිනා මාර්ගය සමීපව ඉදිකොට තිබුණු දොරටුවෙන් අලින් කොටුව තුළට පැන්නීම සිදුකර ඇත. ඉන්පසු කඩුල්ල සවිමත්ව බැඳ දමා ඇත. මෙතරම් සුවිශාල අලි වැටක් ඉදිකිරීමේ කාර්යය සිදුකර ඇත්තේ එම නින්දගමෙහි ජීවත් වූ ජනතාව විසිනි.




අලි ඇතුන් ගාල තුළට කොටු කරන අන්දම නැරඹීම පිණිස එකල සුවිශාල ජනකායක් පැමිණි බවද සඳහන් වේ. ඔවුන් මේ සඳහා ප්‍රවේශ පත්‍රයක් ද මිලදී ගත යුතු විය. එය නැරඹීම පිණිස සුවිශේෂි නැරඹුම් මැදිරියක් ද ඉදිකොට තිබුණි. ප්‍රැන්සිස් මොලමුරේ විසින් පවත්වන ලද අලිගාල නැරඹීම සඳහා එවකට ශ්‍රී ලංකාවේ ඉංගි‍්‍රසි ආණ්ඩුකාරවරයා වූ සෝල්බරි සාමි, හමුදාපති රෝස් මෙන්ම කීර්තිමත් ඉංගි‍්‍රසි ලේඛක දොස්තර ආර්.එල්. ස්පිට්ල් ද සහභාගි වී ඇත.


අලි ඇල්ලීමේ කාර්යයේ යෙදී සිටින පුද්ගලයන් හඳුන්වනුයේ ‘පනිත්තිලයන්’ නමිනි. ‘පනිත්තිලයන්’ සියලු දෙනාද මේ කාර්යය සඳහා එක්වී ඇත.




වල් අලි කොටුකර බැඳ තැබීම සඳහා හීලෑ අලි 14 දෙනකු යොදාගෙන ඇත. ඔවුන් වෙනුවෙන් ඇත් ගොවුවෝ දෙදෙනෙක් ද ඊට සහභාගි වූහ. දින කිහිපයක පරිශ්‍රමයකින් පසු ඔවුන්ට වල් අලි 26 දෙනකු ගස් බැඳීමට හැකි විය. එහෙත් මේ අතර සිටි එක් සද්දන්තයෙකු කෙසේවත් මෙල්ල කළ නොහැකි විය. අඩි 9 ක් පමණ උසකින් යුතු වූ මේ සද්දන්තයාට වයස අවුරුදු 25 ක් තරම් විය. ඇතුන් ඇල්ලීමට නම් දැරූ අය පමණක් නොව අලි මන්තර දත් අයද දැරූ පරිශ්‍රමය වතුරේ ගියේය. 


ඒ කිසිවක් ඉදිරියේ මේ සද්දන්තයාගේ ඔද තෙද සිඳි නොගියේය. පැමිණි වද හිංසා දුක් ගැහැට හමුවේ තව තවත් දරුණු වූ ඌ හීලෑ අලි ඇතුන්ගේ පස්සා ගාත් බිම ඇදෙන්නට පහර දුන්නේය. ගස් බඳින ලද තම රැහේ එවුන් බේරා ගැනීමට එම ගස්වැල් වලට පහරපිට පහර දුන්නේය.


අලි ගාලේ අයිතිකාරයා වූ ෆ‍්‍රැන්සිස් මොලමුරේට ද මේ සද්දන්තයා සුවිශාල ප්‍රශ්නයක් විය. වියරුවෙන් සිය රැහේ එවුන් වෙනුවෙන් මෙල්ල නොවී සටන් වදින මේ ඇතාට වරක් පිටව යන්නට ගාලේ දොර ඇර තැබුවේය. එහෙත් සිය පරපුරේ අනිත් එවුන් ගස් බැඳ තිබියදී බියගුල්ලකු මෙන් පලා යන්නට ඌ කිසිසේත්ම කැමැති නොවීය. තව තවත් රෞද්‍රව සටනට ආවා මිස පලායාමක් ඌට නොවීය.




පනාමුරේ මේ ඇත් රාජාගේ වික්‍රමය පිළිබඳ ඒ වනවිට දස දෙස ප්‍රචලිත වන්නට විය. ඇතාගේ වික්‍රමය අභියස අසරණ වූ ෆ්‍රැන්සිස් මොලමුරේ ගේ අවසාන තීන්දුව වූයේ මේ සද්දන්තයා මරා දැමීමයි.
රත්නපුරේ පොලීසියේ නිලධාරීන් හයදෙනෙකු ඒ සඳහා පැමිණියද එක වෙඩි පහරින් මේ සද්දන්තයා බිම හෙළීමට බැරි බව ඔවුහු ප්‍රකාශ කළහ. පසුව ඒ සඳහා කැඳවන ලද්දේ දිවයිනේ නම් දැරූ ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයාය. ඔහු නාවික හමුදාවේ සේවය කළ නාවික කොමදෝරු සෑම් කදිර්ගාමර් නම් විය. 


හරියටම ඒ 1950 වසරේ අගෝස්තු මස 09 වැනිදාය. සිය වර්ගයා වෙනුවෙන් දිවි ඇති තෙක් සටන් කරමියි සිතා ඇත් රජු වෙඩික්කරු ඉදිරියට දූවිලි අවුස්සමින් දිව ආවේය. රයිෆලයෙන් නිකුත් වූ වෙඩි උණ්ඩය ඇත් රජුගේ වම් ඇසට ඉහළින් සිරුරට කිඳා බැස්සේය. චිත්‍රපට දසුනක් සේ මෙය නැරඹු සියලු දෙනාගේ දෙනෙත් තෙත් කරවමින් සද්දන්තයා සිය උපන් භූමිය සිප ගත්තේය.




තමගේ වර්ගයා වෙනුවෙන් මෙවැනි කියාවක් කල ඇතෙකු ගැන අපිට පෙර අසන්නට ලැබී නැත  ...පසුව  එවකට ශ්‍රී ලංකාවේ ඉංගි‍්‍රසි ආණ්ඩුකාරවරයා වූ සෝල්බරි සාමි ශ්‍රී ලංකාවේ මෙවැනි අලි ඇතුන් ඇත්ගාල් නතරකර දැමිය .






No comments:

Post a Comment

Comment here!